Gossips

ජෝන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

අමාත්‍යවරයෙකුව සිටි සමයේ වත්කම් බැරකම් හෙලි නොකළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩු 05න් එක් නඩුවකින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.
2010 මාර්තු 31 වනදා සිට 2011 මාර්තු 31 වනදා දක්වා කාලය තුල සිය වත්කම් බැරකම් හෙලි නොකල බවට පවසමින් පවරා තිබූ නඩුවේ විභාග කටයුතු අවසන් කෙරුණේ පසුගිය 02 වනදායි.
එදින නඩු විභාගය අවසන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙහි තීන්දුව අද දිනයේ ලබාදෙන බවයි.
ඊට අමතරව වත්කම් බැරකම් හෙලි නොකිරීමට සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව තවත් නඩු 04ක් විභාග වනවා.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නා.
ඒ, දැනට මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 06 දෙනෙකු තමන්ගේ දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම්වලට අවශ්‍ය ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්.
මෙම පෙත්සම් අද කැදවනු ලැබුවේ සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේයි.
මෙහිදී අභියාචනා පෙත්සම්වලට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද අදාල ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් දැමීමට සිදුවූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.