Gossips

ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් දෙදෙනාට ජනපතිගේ ශෝකය

ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් දෙදෙනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ කර තිබෙනවා.
එමෙන්ම දැනට තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රණවිරුවන් තුන්දෙනා වෙත ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් එච්.ඩබ්ලිව්.ඞී. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජයකුමාර මියගිය බවට වාර්තාවුණේ පසුගිය 25 වනදායි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද මේ සම්බන්ධයෙන් මීට පෙර කණස්සල්ල පළ කර තිබුණා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලි රාජ්‍යයට අවධාරණය කර සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි.
ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙනයි දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර තිබුණේ.
මේ අතර නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරීන්ට ජනාධිපතිවරයා අතින් අද සම්මාන පිරිනැමීමට නියමිතයි.
ජනපති – ප්‍රශංසා ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.
2015 ජනවාරි 14 වනදා සිට මේ වසරේ ජනවාරි 14 වන දා දක්වා කාලය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායක වී ඇති නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා දායක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 1034කට මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමෙනවා.