Gossips

ජීවිතයත් මරණයත් අතර සටනකින් ජයගත් පුංචි මල්ෂාන්ගේ සංවේදී ඉල්ලීම

දරුවෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය දැකීම හැම අම්ම කෙනෙකුගෙම ප්‍රාර්ථනාවයි.
ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ජීවිත්වීමට වරම් ලැබූ තම දරුවාගේ අනාගතයට ශක්තියක් ගෙන දෙන්නට සහයෝගය ඉල්ලන අම්ම කෙනෙක් අපිට හමුවුණේ පස්සර ප්‍රදේශයෙන්.
මල්ෂාන් ඩිලංක චන්ද්‍රලතා මහත්මියගේ කැදැල්ලේ බාල පුතු වී ඉපදුනේ 2009 අවුරුද්දේ.
ඉන් වසර 6කට පමණ පසු එනම් 2015දී කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් ඔහු හඳුනානොගත් රෝගයකට ගොදුරු වුණේ මව්පියන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.
අවසානයේ මල්ෂාන් ස්නායු රෝගයකින් පීඩා විඳින බව පවසා මීට වසර දෙකකට පෙර වෛද්‍යවරුන් ඔහුගේ සුෂුම්නාවේ සැත්කමක් සිදු කළා.
සැත්කම සිදුකර වසරකටත් අධික කාලයක් පේරාදෙණිය ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි මල්ෂාන් යළි තමන්ගේ නිවසට ගොස් මව්පියන් සමග කාලය ගත කරන්නේ ඔහු ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් එක්ව ඔහුට ඔක්සිජන් යන්ත්‍රයක් ලබාදීමෙන් පසුවයි.
මේ වනවිට මල්ෂාන් මුහුණ දී සිටින බරපතල තත්ත්වය වන්නේ ඔහුට නින්ද යාම සඳහා ඔක්සිජන් යන්ත්‍රය අත්‍යවශ්‍යවීමයි.
එය නොමැතිව නිදා ගැනීමට සිදුවුවහොත් ජීවිතයට තර්ජනයක් විය හැකි බව මල්ෂාන්ගේ අම්මා පවසනවා.
මල්ෂාන්ගේ ජීවිතය පිළිබඳ අනාගත බලාපොරොත්තු ඉටු කර ගන්නට ඔහුගේ අම්මට ශක්තියක් වන්නට අපි ඔබටත් ආරාධනා කරනවා.