Gossips

ජිනීවා යන ශ්‍රී ලංකා පිරිසට 05 දෙනෙක් – මහින්ද සමරසිංහ ඉවතට

40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ විදේශ අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම නියෝජිත පිරිස නම් කළ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ මෙහි සෙසු සාමාජිකයින් වනවා.
ශ්‍රී ලංකාවේ සංහිඳීයාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කළ වාර්තාව සලකා බැලීම ලබන 20 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාව සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන 21 වනදායි.
කෙසේ වෙතත්, පසුගියදා පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්නේ තමන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට එක්වන බවයි.