Gossips

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

යුද සමයේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණමය ක්‍රියාමාර්ගයක් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට සිදුවන බව ජගත් මානව හිමිකම් කොමිසම අනතුරු අඟවනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පසුගියදා ඉදිරිපත් කළ මානව හිමිකම් වාර්තාව පිළිබඳ වාචික දේශනයට ඊයේ එක්වෙමිනුයි නියෝජ්‍ය කොමසාරිස් කේට් ගිල්මෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ලබන වසරේ මාර්තු මාසය වනවිට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක කාලසීමාව අවසන් වනවා.
කෙසේ වෙතත් ඉතිරි කාලසීමාව තුළ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට හැකිවේද යන්න පිළිබඳ සැක මතුව ඇති බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළද ප්‍රායෝගික ක්‍රියාදාමය තුළදී ප්‍රමාදවීම් නිරීක්ෂණය වී ඇති බව ජගත් මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් කේට් ගිල්මෝ ප්‍රකාශ කළා.
මේ අතර ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ ලක්රජය වෙනුවෙන් ඊයේ අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන කියා සිටියේ සියලු සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි.
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණවලට සියලූදෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ පූර්ණ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් කැපවන බවත් විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
දේශපාලන වාසි ලබාගැනීම සඳහා අන්තවාදී කොටස් කෙතරම් උත්සාහ කළද අරමුණු වෙත ගමන් කිරීමේ පූර්ණ අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 37 වන සැසිවාරයේදී මෙරටට කිසිදු ගැටලූවක් සිදුනොවනු ඇති බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්ව සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.