Gossips

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය අවසන් – ශ්‍රී ලංකාවට වසර 02ක කාලයක්

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය අද අවසන් වුණා.
මීට පෙර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර සැසිවාරයේදී තවත් වසර 2 කාලයක් හිමිවුණා.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වූ යෝජනාවක් එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 5 ක් ඊයේ පස්වරුවේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කළා.
එම යෝජනාව සඳහා ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ අතර තවත් රටවල් 13 ක් ඊට සහය දක්වන බව දැනුම් දුන්නේ සැසිවාරය අතරතුරයි.
2015 වසරේ ඔක්තෝබර් මසදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 3/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙමගින් ශ්‍රී ලංකාවට තවත් වසර 2 ක කාලයක් හිමිවනු ඇති.
එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව මානව හිමිකම් කවුන්සිලය අනුමත කරනුලැබුවා.
මේ අතර මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලෙට් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව පසුගිය බදදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කළා.
ඊයේ පැවති සැසිවාරයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය මහකොමසාරිස්වරියගේ මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කළා.
මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ජිනීවා යෝජනා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා.