Gossips

ජිනිවා සැසියට කල් ඉල්ලීමේ යෝජනාවක් – විදේශ අමාත්‍යාංශය

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වය සහිතව 2015 වසරේදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ලබාගැනීම සඳහා මෙවර ජිනීවා සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් ඒවා විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන ලෙස දැනුම්දීම සඳහා තම නියෝජිතයින් තුන් දෙනෙකු ජිනීවා නුවර වෙත පිටත් කර යවන බවයි.
ගැටළු පවතින්නේ නම් ඒවා අභ්‍යන්තරව විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන ලෙස තම නියෝජිතයින් විසින් ඉල්ලා සිටිනු ඇති බව ද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
විදේශ අමාත්‍යාංශය කියා සිටින්නේ ස්ථිර හා කල්පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම හා අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරමින් 2015 ඔක්තෝම්බර් 01 වැනිදා සම්මත වූ 30/1 යෝජනාවේ කාලය දීර්ඝ කර ගැනීමට මෙවර සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය මේ දිනවලදී ජිනීවා හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවක් මේ මස 20 වැනිදා එම කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.