Gossips

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් නැහැ

මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායමක් යැවීමට අදහස් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ප්‍රකාශිකාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජිනිවා නුවර ජගත් සංවිධාන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් එම සැසියට එක්වන බවයි.
ජිනිවා ජගත් සංවිධාන කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස රවිනාථ ආරියසිංහට පසුව පත්වූ අබ්දුල් අසීස් එහිදී ලක් රජය නියෝජනය කරනු ඇති.
මීට පෙර පැවති මානව හිමිකම් මණ්ඩල සැසි වාර සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායම් යැවීමට රජය පියවර ගෙන තිබුණා.
මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, මෙවර සැසි වාරය සඳහා තම නියෝජිත කණ්ඩායමක් ජිනිවා වෙත යැවීම පිළිබඳව ලබන 14 වන දා පැවැත්වෙන රැස්වීමකදී තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා.
මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කෙරෙනවා.
අත්තනෝමතික රදවා ගැනීම් පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ඉන් පළමුවැන්නයි.
ඊට අමතරව සත්‍යය, යුක්තිය, සාධාරණත්වය හා ගැටුම් වැළැක්වීම ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ගේ ශ්‍රී ලංකා සංචාරය අලලා සකස් කළ වාර්තාවක් ද ඊට ඉදිරිපත් කෙරෙනවා.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුව මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී සාකච්ඡාවට ලක්වන තවත් ප්‍රධාන මාතෘකාවක්.