Gossips

ජානිපෙ, ඒකාබද්ධ විපක්ෂයට අනතුරු අගවයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත් නිවැරදි නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම්, ඒකාබද්ධ විපක්ෂය ඊට එකඟ වන බවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි තීරණයක් ගත හොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වන්නේ රටේ ඒකීයභාවය අහෝසි කිරීම බවයි.
කෙසේ වෙතත්, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සහය ලබා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාව ද ඊට එක් කළහොත් පමණක් බවයි.