Politics Sri Lanka

‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

‘ජාති ආගම් භේද අවුළුවන අයගේ අතකොලු වෙන්න එපා’ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

අපේ අසල්වාසීන් සමගින් සහෝදරත්වයෙන් කටයුතු කරනු මිස බාහිර කුමන්ත්‍රණකාරී බලලෝභීන්ගේ හා බලවේගයන්ගේ අතකොලු බවට පත්නොවී කටයුතු කළයුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති එම නිකායේ මහා ‍ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයේ එසේ සඳහන් විය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ පටු ආකල්ප අදහස් ඇති විවිධ පුද්ගලයන් තම දේශපාලනික අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමේ ලාමක අදහසින් ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවන පරිදි අදහස් ප්‍රකාශ කරන අයුරුත් ක්‍රියා කරන අයුරුත් මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන බවත් ඉන් සිදුවන්නේ එකිනෙකා අතර වෛරය ක්‍රෝධය අසමගිය ඇතිවන බවත්ය. අවස්ථාවාදීන්ට මෙම තත්ත්වය කදිම අවස්ථාවක්ව ඇති බැවින් බොරු කේලම් ආදිය කියමින් පහත් හැඟීම් මුදුන්පත් කර ගැනීමට වෙර දරන මෙවන් අවස්ථාවක අප කළ යුතු වන්නේ මනුෂ්‍ය සමානාත්මතාවය අවබෝධ කොටදී ඇතිව තිබෙන විරසක බව නැති කිරීමට කටයුතු කිරීම බව එම නිවේදනයේ සඳහන්ව ඇත.

ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියකට උරුම කම් කියන අප ශ්‍රී ලාංකිකයන් ලෙස කල්පනාකොට දානය ප්‍රිය වචනය අර්ථචරියාව සමානාත්මතාව යන උතුම් ගුණාංගයන්ගෙන් මානව සමාජයට සංග්‍රහකොට මෙත්තා කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණයන් මුළු මහත් විශ්වයටම පතුරාලීම මේ මොහොතේ අවශ්‍යම කරුණක් බවත් සඳහන් එම නිවේදනයේ එබඳු උතුම් ඉගැන්වීමක් හා ශික්ෂණයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් අන්‍යයන්ගේ දේපළ හා ජීවිත හානි කිරීමට මාන බලන අන්තවාදී පටු ලාමක අදහස් ඇත්තන්ට අවස්ථාවක් නොලැබෙන පරිදි බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත් අවධාරණය කොට ඇත.