Gossips

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නැහැ

ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳ විවාදය මෙම පාර්ලිමේන්තු සතිය තුළ දී පැවැත්වීමට හැකි නොවනු ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව එම විවාදය බොහෝදුරට ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී පැවැත්වීමට සිදුවනු ඇති බවයි.
ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද විවාදය පවත්වන දිනය කවදාදැයි තමන්ට මෙතෙක් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.
හෙට මධ්‍යහ්න 12ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතයි.
එහිදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.
හෙට පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි.
එසේම අනිද්දා දිනයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ ශෝක යෝජනායි.
මෙම තත්ත්වය තුල ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද විවාදය මෙම සතියේ පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ලබන මාර්තු 5 වන දා සිට 2019 අයවැය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අතර, එය අප්‍රේල් 5 වන දා දක්වා සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම ජාතික ආණ්ඩු යෝජනාව පසුගිය 01 වන දා කථානායකවරයා වෙත භාර දුන් අතර, එය විවාදයට ගැනීම මීට පෙර ද කල් දැමුණා.