Politics Sri Lanka

“ජාතික ආණ්ඩුව දිගටම යනවා” රනිල් – අමරවීර කියයි

“ජාතික ආණ්ඩුව දිගටම යනවා” රනිල් – අමරවීර කියයි

ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඒ ඊයේ (20) විප්කෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම කතානායකවරයාගෙන් සිදු කරණ ලද ප්‍රශ්ණ කිරීමකට ප්‍රතිචාර දක්වමිණි.

ජාතික ආණ්ඩුවේ ගිවිසුම පවතින්නේ අවුරුදු දෙකක් සඳහා පමණක් යැයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇති බවත් එම ගිවිසුම සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර ඇති, එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්ව සිටි අභාවප්‍රාප්ත විශ්වා වර්ණපාල මහතාගේ ලිපියේද සඳහන්ව ඇත්තේ අවුරුදු දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.

එම නිසා ජාතික ආණ්ඩුවක් සඳහා යළි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතු බවත් ජාතික ආණ්ඩුව දිගටම යන්නේනම් එම ගිවිසුම අවසන් වූ වහාම ඒ බව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබූ බවත් අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, එජනිස ලේකම්වරයාත් පාර්ලිමේන්තුව දැනුවත් කර ඇති පරිදි ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය ඉක්ම ගොස් ඇති බැවින් හා ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තුවට දන්වා නොමැති බැවින් වත්මන් ඇමති මණ්ඩලය බල රහිත ඇමති මණ්ඩලයක් බවත් අනුර දිසානායක මහතා දැඩිව ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එජනිස මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවී මහතා ප්‍රකාශ කළේ ය.

ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් ගත් තීරණයක් ලෙස මෙම යෝජනාව පවතින බවත් ඒ අනුව සියලු වැඩ කටයුතු සිදු කරන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට එය අවලංගු කිරීමේ තත්ත්වයක් මතුව නොමැති බවද අගමැතිවරයා පැවසු අතර එයට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති කර ගත් ගිවිසුම තවමත් පවතින බවත් එම ගිවිසුම අනුව ක්‍රියා කිරීමට බැඳී සිටින බවත් ය.

ඒ අනුව ගිවිසුමෙන් ඉවත්ව නොමැති බවද අමරවීර මහතා සඳහන් කළේය.