Gossips

ජාතික ආණ්ඩුවේ ඉතිරි වසර දෙක, අන්තර් පාලන වැඩසටහනක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව මගින් අන්තර් පාලන රජයක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව එම කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
කොළඹ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම කමිටු වාර්තාව අද දිනයේදී සකස් කර අවසන් කරන බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිතා කිරීමත් සමඟ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබද ගැටළුකාරී තත්ත්වයක් පසුගිය දා මතුවුණා.
එම 16 දෙනා මේ වන විට ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ තනතුරුවලින් ඉවත්ව ඇති අතර, ඉදිරියේදී ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ද නියමිතයි.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය 13 වන දායි.
එහි සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම නම් කෙරුණු අතර, එම කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මහින්ද සමරසිංහ යන අය ද ඇතුළත්.
මේ අතර, ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයින් තුන් දෙනා ජනාධිපතිවරයා මුණ ගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් ඉවත් කරන ලෙසට ද ඉල්ලා ඇති බවට වාර්තා පළ වනවා.