Gossips

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන සොයන්න, සන්ධානයෙන් කමිටුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවේ යෝජනාවලිය දෙසතියකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා.
අනතුරුවයි ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ.
ඒ අනුව අදාළ යෝජනාව පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ විධායක සභාවේදී පත්කළ විශේෂ කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, දිනේෂ් ගුණවර්ධන මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් ඇතුළත්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ඉන් පසුව අනුගමනය කළ යුතු වැඩපිලිවෙල පිළිබඳව සති දෙකක් ඇතුළත සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර, භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම කළ ආරාධනයට තමන් අකමැති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.