Gossips

ජාතික අපේක්ෂා සම්පූර්ණ කරගැනීමට පෙළගැසෙන්නැයි ජනපති අලූත් අවුරුදු පණිවුඩයෙන් ඉල්ලයි

වැරදි නිවැරදි කර ගනිමින් යහපත් මාර්ගයට පිවිසීම අලූත් අවුරුද්දේ අරමුණ බව අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පවසනවා.
අලූත් අවුරුදු උදාව වෙනුවෙන් ආශිර්වාද කරමින් උන්වහන්සේ සදහන් කළේ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කර ජීවිතය සාර්ථක කර ගැනීමට මෙම කාලසීමාවේ සිතට ගත යුතු බවයි.
අලූත් අවුරුදු උදාව යහපත්ව සැමරීමට සියලූදෙනා කටයුතු කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය, දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද සදහන් කළා.
උන්වහන්සේ ප්‍රකාශ කළේ යහපත් මනසකින් යුතුව කටයුතු කිරීම එහිදී වැදගත් වන බවයි.
මේ අතර, මෙතෙක් අප ලබා ඇති ජයග්‍රාහණයන්හි ඵල භුක්ති විදිමින්, ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මෙවර සිංහල, දෙමළ අලූත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් යෝජනා කරනවා.
අලූත් අවුරුදු පී‍්‍රතිය අත්විදින මෙරට ජනතාවට මෙන්ම, එතෙර දිවි ගෙවන සියලූ ශ්‍රී ලාංකිකයින්ට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලූත් අවුරුද්දක් වේවායැයි ජනාධිපතිවරයා එමගින් ප්‍රාර්ථනා කර තිබෙනවා.
අලූත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළදපොල යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම සදහා මෙවර අලූත් අවුරුද්දේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි. සොබා දහම සමග ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩවඩාත් දැනෙන මොහොතකට අප සියලූදෙනා එළඹ සිටින බවයි ජනාධිපතිවරයා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිංහල, දෙමළ අලූත් අවුරුද්ද, ලක්වැසි සැමට තම ජීවිත අලූත් කර ගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.
උතුරු – දකුණු භේදයකින් තොරව ලාංකීය සමාජයේ සියලූදෙනා එක්ව සමරන අලූත් අවුරුද්ද ජනතාවගේ ජීවිත වල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයයි.
එහිදී අවුරුදු සිරිත්වල නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීම සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් කටයුතු කිරීම වැදගත්වන බව අග්‍රාමාත්‍යවරයා සිය අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කළා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙරට අභිවෘද්ධිය උදෙසා දායක විය හැකි ආකාරය පිළිබඳව සොයා බලන ලෙසයි.
ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති කිරීම සදහා අනෙකාගෙන් බලාපොරොත්තු නොවී එය තමන් තුලින් ආරම්භ කිරීම වැදගත් වන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මෙරට සෞභාග්‍යය, මානුෂීය ගරුත්වය සහ සුබ අනාගතය රදා පවතින්නේ ආකල්පමය පරිවර්තනයක් තුළින් බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය අලූත් අවුරුදු සුබ පැතුමෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.