Gossips

ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තබා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළව මෙම ක්‍රියාකාරී සැලැස්මට අත්සන් තැබීම සිදු වූ බවයි.
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සහ දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි.
පිලිපීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (18) පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වුනා.
එහි දී ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරෙල් (Dr. Matthew Morell) ඉදිරියේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විසින් මෙම ක්‍රියාකාරි සැලැස්මට අත්සන් තබා තිබෙනවා.
අනතුරුව එම පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කරනු ලැබුවා.
ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය ලොව විශාලතම සහල් ජාන බැංකුව වන අතර ලෝකයේ විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් එහි සංරක්ෂණය කර තිබෙනවා.
මෙම පර්යේෂණායතනය නියඟයන්ට, ජලගැලීම්වලට සහ පළිබෝධවලට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේද නිපදවීම සඳහා සෑම රටකට ම ජාන නිකුත් කරනවා.
දිනෙන් දින උණුසුම් වන ලෝකයේ සහල් වර්ග සංරක්ෂණය කිරීම සහ අධික වන ගෝලීය උෂ්ණත්වයට ගැළපෙන වී ප්‍රභේද නිපදවීම මෙහි කාර්යභාරයයි.
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන කෘෂිකර්මාන්තය පිළිබඳ දක්වන උනන්දුව මෙහිදි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ඇගයීමට ලක්වුනා.