Gossips

ජාත්‍යන්තර විනිසුරුවන් ගැන, කැනඩාව, ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන්

ලෝක ප්‍රජාවට පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි කර ගනිමින් එල්ල වන මානව හිමිකම් චෝදනාවට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු බව කැනඩාව යළිත් අවධාරණය කර තිබෙනවා.
ඒ, ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන 37 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ප්‍රකාශයක් සිදුකරමින්.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුළත් කරමින් වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවිය යුතු බවයි එහිදී කැනඩාව අවධාරණය කර ඇත්තේ.
ඒ සඳහා පැහැදිලි කාල රාමුව සහ උපාය මාර්ග ඉදිරිපත් කළ යුතු බව කැනඩාව පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ගෝලීය දෙමළ සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ් ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියලූ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
උතුරේ සිවිල් සංවිධාන කිහිපයක් ද මන්නාරම බසාර් විථියේදී අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව සඳහන් කරමින්.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කොමසාරිස්වරියක ලෙස නිමල්කා ප්‍රනාන්දු පත්කිරීම ඉතා පිලිකුළෙන් යුතුව හෙළා දැක තිබෙනවා.
එම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට එරෙහිව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ ප්‍රකාශ සිදුකළ නිමල්කා ප්‍රනාන්දු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා ඇයව අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයෙන් ඉවත් කරන ලෙසටයි.
එම කාර්යාලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ පසුගිය වසර 30 තුළ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් හඬ නැගූවන් වර්තමානයේ ඔවුන් පිළිබඳ සෙවීමට කාර්යාලයක් පිහිටුවීම විවේචනයට ලක්කරන බවයි.
අතුරුදන්වුවන්ගේ කාර්යාලය සොයාගන්නා කරුණු කිසිදු අපරාධ හෝ සිවිල් අධිකරණ ක්‍රියාවකට යොදා ගැනීමට නෛතිකව ඉඩක් නොමැති බව අදාළ නිවේදනයේ සඳහන්.