Gossips

ජාත්‍යන්තර එක්දින පිටිය හෙල්ලූ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක වාර්තාව

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (08) පැවති තරඟයකදී නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ කාන්තා එක්දින ක්‍රිකට් තරඟයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වෙමින්.
ඒ අනුව අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරඟයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 490ක්.
ඔවුන් මෙම ලකුණු 490 රැස් කළේ කඩුලු 04ක් පමණක් දැවී තිබියදීයි.
මෙම තරඟයේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ශතක රැස් කිරීමට සමත් වූණා.
ඒ අනුව ඔවුන් බිඳ දැමුවේ නවසීලන්ත කණ්ඩායම ම පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 05කට ලකුණු 455ක් රැස් කරමින් වසර 21කට පෙර පිහිටුවා තිබූ වාර්තාවයි.
මෙම තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 491ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 03 කදී ලකුණු 144කට සීමා කරන්නට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත්වූ අතර ඒ අනුව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 346 කින්.
මේ අතර පකිස්ථාන කණ්ඩායමට එරෙහිව 2016 වසරේදී කඩුලු 03කට ලකුණු 444 ක් රැස් කරමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ පිරිමි කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් අතුරුන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායම බවට කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පත්ව සිටීම විශේෂත්වයක්.