Gossips

ජාඇල කාන්තා ඝාතනයේ හේතුව හෙළිවෙයි

ජාඇළ – කණුවන රජමාවත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව ඉඩම් ආරවුලක් බව අනාවරණ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකරුවන්ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
රජමාවත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි 60 හැවිරිදි කාන්තාවක් ඊයේ (14) මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ බවයි ජාඇළ පොලීසිය සඳහන් කළේ.
මේ අතර රත්නපුර – රක්වාන – රඹුක ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට තියුණු ආයුධයකින් පහරදුන් තවත් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 2.30ට පමණ උපකාරක පන්තියකට සහභාගිවී නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම ආරවුල හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගගොස් පහරදීම සිදුව ඇති බව හෙළිවී තිබෙනවා.
තුවාල ලැබූ පාසල් සිසුවා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පහරදීම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරුණා.