Gossips

ජාඇල – ඇඟළුම් කම්හලේ විෂ වායුවෙන් 50ක් රෝහලේ

ජා-ඇල ඒකල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 50කට ආසන්න පිරිසක් අද (20) දිනයේත් රෝහල් ගත කෙරුණා.
මේ වනවිට සේවිකාවන් 12 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, තවත් දෙදෙනෙකු ජා-ඇල දිසා රෝහලේ සහ 35 දෙනෙකු ගම්පහ රෝහලේ පෙරවරුවේ ඇතුළත් කෙරුණු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔවුන් ශ්වසන අපහසුතා සහ ක්ලාන්ත තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියා.
ගෑස් කාන්දුවීමක් හේතුවෙන් මෙම කර්මාන්තශාලාවේ සේවිකාවන් 40 දෙනෙකුට වැඩි පිරිසක් ඊයේ (19) දිනයේදීත් රෝහල් ගත කරනු ලැබුවා.
මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා භාවිතා කරන වායු පීඩන යන්ත්‍රයකට යොදන ලද රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීමෙන් මෙම තත්ත්වය සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත්, හැමූ දුගන්ධය හේතුවෙන් තමන් ක්ලාන්තව ඇද වැටුණු බව රෝහල් ගතව සිටි එම කර්මාන්තශාලාවේ සේවිකාවන් පිරිසක් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අදාළ කර්මාන්තශාලාවේ පාලනාධිකාරියෙන් විමසීමක් කළා.
එහි උසස් නිලධාරිනියක් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් ද විමර්ශනයක් සිදුකෙරෙන අතර, ඉන් පසුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි.