Gossips

ජල විදුලි උත්පාදනය අර්බුදයක – බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව සියයට 9 ට බසී

වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අර්බුදයක් බවට පත්ව ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව එම තත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.
පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත සියලූම ප්‍රධාන ජලාශවල ජල මට්ටම් දිනෙන් දිනම පහත බසිමින් පවතිනවා.
කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 9 ක් දක්වා පහත බැස ඇති අතර, මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 26.5 ක්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 34.2 ක් සහ සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 19 ක් දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පවතින උණුසුම හේතුවෙන් විදුලි පරිභා්ජනය ද ඉහළ ගොස් තිබෙනවා.
අධික උණුසුමත් සමඟ වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය ඉහළ ගොස් ඇති අතර, ශීතකරණ සඳහා වැයවන විදුලියද සැළකිය යුතු මට්ටමකට ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
මේ හේතුවෙන් අර්බුද මධ්‍යයේ උත්පාදනය කෙරෙන ජල විදුලිය කළමනාකරණය කිරීම අභියෝගයක් බවට පත්ව ඇති බවයි විදුලිබල අමාත්‍යාංශ්‍යයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
මෙම අර්බුදයට එක් විසඳුමක් ලෙස පෞද්ගලික ස්වයං විදුලි ජනන පද්ධති දිරිමත් කිරීමටත් ඒ සඳහා ගෙවීමක් සිදු කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර වියලි කාලගුණ තත්ත්වය මැයි මස අග දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.