Gossips

ජල ගැටලුවට විසඳුමක් ඉල්ලා ආරච්චිකට්ටුවේ විරෝධතාවක් (ඡායාරූප)

තම ජල ගැටලුවලට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා ආරච්චිකට්ටුව වරන්කට්ටුව ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරතවුනා.
අප වාර්තාකරු සඳහන් කළේ අද දහවල් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවති බවයි.
මේ හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගය අවහිර වී තිබු අතර වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී තිබුනා.
ජල යෝජනා ක්‍රමයක් වෙනුවෙන් ඉදි කළ ළිඳක ජලය පානයට නුසුදුසු තත්වයේ පැවතීම හේතුවෙන් නව ජල පිරිපහදුවක් සඳහා ළිඳක් ඉදි කිරීමේ ගැටලුවක් විරෝධතාවට මුල්වී ඇතැයි සඳහන්.
එම ළිඳ ඉදි කිරීමට ප්‍රදේශවාසීන් කිහිප දෙදෙනෙකු විරුද්ධ වීම ඊට හේතුවයි.
විරෝධතාවට එක්ව සිටි පිරිස සිය ඉල්ලීම් ඇතුලත් ලිපියක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදී තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ නල ළිඳක් කැණීමට අවමර ලබාදීම වෙනුවෙන් තමන්ට බලයක් නොමැති බවයි.
විසඳුමක් ලැබෙන තෙක් බවුසර් මගින් ජලය ලබාදීමට හැකියාව පවතින බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.
අනතුරුව ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකාරිනියක් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර ජල පෝෂකය පිහිටි ප්‍රදේශය අවට පිරිස් සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවයි ඇය කියාසිටියේ.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත