Gossips

ජලාශ 16 ක වාන් දොරටු විවෘතයි

පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම හෙට සහ අනිද්දා දිනවල ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ කොමරීන් මුහුදු ප්‍රදේශයේ ද යාත්‍රා නොකරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.
එසේම ඉදිරි දින දෙක තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ මඩකලපුව – කිරාන් සහ පාසිකුඩා ප්‍රදේශවලින්.
ඒ, මිලිමීටර් 270ක්. මීට අමතරව රත්නපුර සුරිය කන්ද ප්‍රදේශයෙන් මිලිමිටර 189 ක වර්ෂාපතනයක් වාර්තා වි තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නානුඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේදී පස් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් දෙදෙනෙකු මේ වනවිට උඩුපුස්සැල්ලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් අයෙකු ප්‍රතිකාර ලබන්නේ නුවරඑළිය මහ රෝහලේයි.
මේ අතර රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව නායයෑම් පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එමෙන්ම පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජලාශ 16ක වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.