Gossips

ජලාශ රැසක් වාන් මට්ටමේ.- වැසි සහ සුළං තවදුරටත්

දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ලබන සඳුදා සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
වැසි තත්ත්වය තවදුරටත් පැවතුණහොත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ ප්‍රදේශවලටත් මෙම නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර ෂැනන් වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා සිදුවීම හේතුවෙන්, ඒ ආසන්නයෙන් තාවකාලික විකල්ප මාර්ගයක් ඉදිකර ඇති බව පොලීසිය සඳහන් කළා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වාන් මට්ටමට පැමිණ ඇති අතර, ඉන් කිහිපයක් මේ වනවිටත් වාන් දමමින් පවතින බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව කාසල්රී ජල මට්ටම උපරිම අගයට පැමිණ තිබෙනවා.
ලක්ෂපාන, ඉහළ කොත්මලේ සහ මාවුස්සා කැලේ් ජලාශවල වාන් දොරටු 3 බැගින්ද, කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර තිබෙනවා.
කාසල්රී ජලාශයේ වාන් දොරටු 14 ක් ඇති අතර ඉන් එක් වාන් දොරටුවක් අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව කැළණි ගඟ සහ කිතුල්ගල අවට සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසටද විදුලිබල අමාත්‍යාංශය ඉල්ලීමක් කළා.