Gossips

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි – කුරුණෑගල නිවාස 187 කටත් හානි

බෙංගාල බොක්ක උතුර කොටසේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හෙටින් පසු අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවලට සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනය තෙක් අපේක්ෂා කරන බව එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක ප්‍රකාශ කළේ.
මේ අතර ඊයේ සහ අද දිනයේ ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 187 ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ ජලාශ කිහිපයක වාන් දොරටුද අද විවෘත කළ බවයි.
ඒ අනුව ලක්ෂපාන, කැනියොන්, නෝටන්බ්‍රිජ්, මාවුස්සාකැළේ, ඉහළ කොත්මලේ, කුකුළේ ගඟ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ඔහු කියා සිටියේ.
වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා මතුව තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපල මේ වනවිට ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් ලබන සෙනසුරාදා දක්වා තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගත්තේ.
අයහපත් කාලගුණයේ බලපෑම මත කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් 47 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.