Gossips

ජයග්‍රහණ සාමකාමීව භුක්ති විදින්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

සිය ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
විවිධ බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් ශ්‍රී ලංකාවේ සියලූම ඡන්දදායකයින්ට තමන් ප්‍රණාමය පුද කරන බව ද එම නිවේදනයේ සදහන්.
එමෙන්ම, ආණ්ඩුව කොතරම් පීඩා සිදුකළත් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදී ඇති විශිෂ්ඨ ජයග්‍රහණය පරාජිත පාර්ශවවලට අගෞරවයක් සිදුනොවන ආකාරයෙන් භුක්ති විදින ලෙසටයි තරග කළ සියලූ පාර්ශවකරුවන්ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.
මේ අතර, මෙවර මැතිවරණය වත්මන් ආණ්ඩුවෙහි ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමේ ජනමත විචාරණයක් ලෙස සලකා ජනතාව ඡන්දය භාවිතා කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සදහන් කළේ එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය හේතුවෙන් මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය හිමිකරගත් බවයි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය අනුව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන ඇති බැවින් පරාජය පිළිගෙන රජය වහාම ඉල්ලා අස්විය යුතු බවයි පොදුජන පෙරමුණේ සාමාජිකයින් සඳහන් කලේ.
මෙවර මැතිවරණයේදී තම පක්ෂයෙහි ඡන්ද පදනමෙහි වෙනසක් සිදුව නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ නිවසේදී මේ වනවිට පැවැත්වෙනවා.
එහිදී මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගත් ඡන්ද පදනම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබදව අදහස් විමසීමට අප එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුන් එහිදී ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළා.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නේ 2015 ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂගේ ජන වරම අහෝසි බව කියමින් මන්ත්‍රීවරුන් 46ක් සිටි රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දුන්නේ නම් වර්තමාන තත්වයට ද එය ගලපාගෙන ඔහු වහා ඉල්ලා අස්විය යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරුව දිස්ත්‍රික්කයද වැඩි ඡන්ද 8000කින් පමණ ජයගෙන ඇති බව එහිදී ජී.එල්. පීරිස් පෙන්වා දුන්නා.