Gossips

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින්න – නව අගමැති මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට සන්ධානය තීරණය කළ බවයි.
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමත් සමඟ ප්‍රදේශ රැසක ජනතාව එය සමරන ආකාරය ද දක්නට ලැබුණා.
අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඔවුන් රතිඤ්ඤා දල්වමින් මඟ දෙපස ප්‍රීති ඝෝෂ නැගූ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ – ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
එහිදී විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් විසින් නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරනු ලැබුවා.
අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය වෙත ගිය නව අග්‍රාමාත්‍යවරයා වෙත මහා සංඝරත්නය ආශිර්වාද පළ කළා.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිළ නිවස වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම, ආධාරකරුවන් සහ සුබ පතන්නන් ඊයේ සන්ධ්‍යා භාගයේදී රොක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ ද ඊට එක්වීම විශේෂත්වයක්.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද කෙටි පණිවුඩයක් මගින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.
අනතුරුව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විජේරාම නිළ නිවසේ ඉහළ මාලයේ සිට පැමිණ සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙසයි.