Gossips

ජම්පටා වීථියේ වෙඩි තැබීමේ සුළමුල හෙළිවන ලකුණු

කොළඹ – ජම්පටාවීදියේ අද සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර එම ප්‍රදේශයේදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාළු අලෙවි කළ කාන්තාවගේ සොහොයුරා බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඇයට පසුගිය වසරේ ජුනි මාසයේ වෙඩි තැබීම සිදුවූ ස්ථානය ආසන්නයේදීම සොහොයුරා ද ප්‍රහාරයට ලක්වී ඇති බවයි.
පසුගිය ජුනි මාසයේදී වෙඩි තැබීමෙන් ඇයගේ සැමියා ද මියගියා.
අද දිනයේදී ද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගිය අතර ඔවුන් වෙඩි තැබීම සදහා රිවෝල්වරයක් යොදා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වෙඩි පහරින් තුවාල ලැබූ 37 හැවිරිදි පුද්ගලයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී පසුගිය 25 වනදා සිදු වූ සිව් පුද්ගල ඝාතන සිද්ධියෙන් පසු යොදා තිබූ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වූ වෑන් රථය පොලීසිය සොයා ගෙන තිබෙනවා.
ඒ බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයක තිබියදීයි. එම වෑන් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි වර්ණය සහ අනෙකුත් උපාංග වෙනස් කරමින් සිටි බවයි පොලීසිය සදහන් කළේ.
වෑන් රථයේ හිමිකරු අනාවරණ වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
පොලිස් මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පූජිත ජයසුන්දර කියා සිටියේ ඉදිරි මාස 3 ඇතුළතදී දිවයිනේ ඇති සියලූම අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.