Gossips

ජම්පටාවීථිය වෙඩි තැබීම, අපරාධයකට සාක්ෂි නොදුන් නිසා දැයි සැක

කොටහේන – ජම්පරාවීථියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව පසුගිය 24 වනදා එම ස්ථානයේම සිදුවූ වෙඩි තැබීමකට අදාළව සාක්ෂි ලබා නොදීම නිසා බවට පවුලේ ඥාතීන් චෝදනා කරනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ එම වෙඩි තැබීමෙන් ජම්පටාවීථියේ සෙල්ලයියා වත්තේ පදිංචි අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්වුණා.
දිවා කාලයේ මාර්ගය ආසන්නයේ මත්ස්‍ය වෙළඳාමේ නිරත වන ඔවුන් රාත්‍රී කාලයේ එම ස්ථානයේම ආහාර අලෙවිය සිදුකරන අතර, මෙම වෙඩි තැබීම සිදුවූයේ එම අවස්ථාවේදීයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී – 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ පසුගිය 24 වනදා රාත්‍රියේ එම ස්ථානයේම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සාක්ෂි ලබානොදීම හේතුවෙන් මොවුන් ඝාතනය කර ඇති බවයි.
මේ අතර, වෙඩි තබා ඝාතනය කළ කොළඹ නාගරික මන්ත්‍රී, ජනතා පෙරමුණ සංවිධානයේ නායක කිරුබානන්දන් ක්‍රිෂ්ණාපිල්ලේ හෙවත් ක්‍රිෂ්ණාගේ ඝාතනයට පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඔහු පැමිණි ගමන් මාර්ගය පිළිබඳව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
පිටකොටුව – අදිවාල් වීථියේ පිහිටි නාගරික මන්ත්‍රීවරයාට අයත් වෙළඳසැලේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මන්ත්‍රීවරයාට වෙඩි තබා පලාගොස් තිබුණා.
මේ අතර, කිරිබත්ගොඩ – හුණුපිටිය – නාහේන – ජයන්තිවෙල ප්‍රදේශයේ මාර්ගයක ත්‍රිරෝද රථයක තිබී ඝාතනය කර තිබියදී හමුවූ පුද්ගලයාගේ මරණයට ඔහුගේ බිරිඳ සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
අද අලූයම 3 ට පමණ කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර, පසුව නිවසේ තිබූ ඔහුගේම ත්‍රිරෝද රථයෙන් මළ සිරුර අසල තිබූ අතුරු පාරක දමා ගොස් තිබුණා.
මෙලෙස ඝාතනය වී තිබුණේ නාහේන – ගැමුණු මාවතේ පදිංචි 40 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.