Gossips

ජපාන අගමැතිගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගේ විශේෂ උපදේශකවරයා ඇතුලු නියෝජිත පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා.
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙනුයි මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇත්තේ.
වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගීතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම්, සමුද්‍රිය ආරක්ෂාව යන ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ඉහළ නැංවීමට ජපාන රජයේ කැමැත්ත පළකෙරුනු අතර ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡාවී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බලශක්ති ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු සහ කටුනායක ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුනා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ජපාන නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත්තේ කලාපීය වශයෙන් තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙසටයි.