Gossips

ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු සහ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
සැකකරු සම්බන්ධයෙන් පසුගිය මාර්තු 29 වනදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමුකර තිබුනා.
ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝගය අනුවයි.
ඒ අනුව සැකකරු භාවිත කළ ජංගම දුරකථන අංක කිහිපයක් ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
39 හැවිරිදි මෙම පුද්ගලයා ඇහැලියගොඩ – තලපිටිය – පනාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී රාජ්‍ය ආයතන කිහිපයකට දුරකථනය ඔස්සේ බලපෑම් කර ඇති බව සඳහන්.
සැකකරු වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව සහ කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් අයෙකුගෙන් ලක්ෂය බැගින් මුදල් ලබාගෙන ඇති බවද මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ පුද්ගලයා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස දුරකථනයෙන් අමතා ඔහුගේ ඥාතියෙකුගේ අවමංගල උත්සවයකට ප්‍රාදේශීය ලේකම්වරයෙකු ද සහභාගි කරවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
මෙම පුද්ගලයා වංචනික කටයුතු සඳහා යොදාගත් සිම්පත් 3 ක්, විවිධ පුද්ගලයන්ට අයත් සහතික පත්වල ඡායා පිටපත් සහිත ලිපි ගොනු 5 ක් හා වෙනත් ලියකියවිලි කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී මුදල් ලබාගත් පුද්ගලයන් 10 දෙනෙකුගේ තොරතුරු අනාවරණ වී ඇතැයි සඳහන්.
අතරමැදි පුද්ගලයන් හරහා මෙම සැකකරු හඳුනාගෙන රැකියා ලබාගැනීම සඳහා මුදල් ලබාදුන් පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවට ද ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවී තිබෙනවා.
එමෙන්ම රජයේ ආයතනවල ඉහළ නිලධාරීන්ට විවිධ කටයුතු සඳහා අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇති අතර ඔහු කලක් යුද හමුදාවේ සාමාන්‍ය සෙබෙලකු ලෙසට ද සේවය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු සම්බන්ධයෙන් වෙනත් තොරතුරු දන්නේ නම් හෝ ඔහුට රැවටී මුදල් ලබාදුන් පුද්ගලයන් සිටී නම් 011 2321839 හෝ 011 2384403 අංකවලට දැනුම්දෙන ලෙසට පොලිසි ඉල්ලා සිටිනවා.
මෙම පුද්ගලයා අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.