Gossips

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් – ජනපති නියෝජිතයින් 3 දෙනෙකු ජිනිවා යයි

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින්.
රටට සැබවින්ම ආදරය කරන දේශපාලනඥයින් රටේ ආර්ථීකය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්තී්‍රවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් සහභාගි කරවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙහිදී ගැටලූ විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබාදෙන ලෙසට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් මොවුන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේ.
එමෙන්ම ඊ.ටී.අයි ගණුදෙනුව සම්බන්ධයෙන් ජාතික ආර්ථීක සභාව මගින් පරීක්ෂණ සිදුකරන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණයක් අවශ්‍ය නම් දූෂණ වංචා සොයා බැලීම සඳහා දැනට ක්‍රියාත්මක ජනපති කොමිසමට පැමිණිලි කළ හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
කවුරුන් විරුද්ධ වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ.
මත්ද්‍රව්‍යවලට එරෙහිව "බක්මහ දිවුරුම" නමින් වැඩසටහනක් ලබන මස 3 වනදා සිට කි්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බවත් බොහෝ නිලධාරින්ට අසාධාරණ අන්දමින් සලකන බවට ලැබී ඇති තොරතුරු අනුව පොලිස් දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිව්‍යූහ ගත කරණයකට ලක් කළ යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළේ.
rn