Politics Sri Lanka

ජනාධිපතිට – අගමැතිට නැවතත් සිතාසි

ජනාධිපතිට – අගමැතිට නැවතත් සිතාසි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසි වන අන්දමින් බොරු ප්‍රචාරය කළ බවට චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත යැයි පවසමින් අද (26) දිනයේද අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් එම නඩුවේ සාක්ෂි දීමට ලබන ජූලි මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටන ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් සිතාසි නිකුත් කර තිබේ.

එහිදී නීතිපතිවරයා විසින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරිමය හේතුන් මත අද දින අධිකරණය වෙත පැමිණිමට අපහසු බැවින් ඔවුන්ට වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.

එහිදී සාක්ෂිකරුවන් දිගින් දිගටම අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා විත්තිකරුට අගතියක් සිදුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහුට දිගටම විත්තිකරුවෙකු විය නොහැකි බව ද අවධාරණය කර තිබේ. එම නිසා ජුනි මස 24 වන දින මෙම නඩුව කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට අනිවාර්යෙන් අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතින් අතර සුහදතාවය බිඳ දැමීමට තුඩු දුන් කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ මෙම නඩුව ගොණු කර තිබුණි.