Gossips

ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිසකට කඩවතදී ප්‍රහාරයක්

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් සංවිධාන කටයුතු කරමින් සිටි පිරිසකට ඊයේ රාත්‍රියේ කඩවතදී ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජාතික පාක්ෂිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සැකකරු මහර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයාගේ ආධාරකරුවෙකු බවයි.
ජනබලය කොළඹට විරෝධතාවට සහය පළ කරමින් කඩවත නගරයේ සැරසිලි කරමින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් පිරිකට ඊයේ රාත්‍රි 11 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.
ඔවුන් චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂ මහර ආසන සංවිධායක ප්‍රිශාන්ත ජයකොඩි සමඟ පොලූ මුගුරු රැගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
මේ අතර, මෙම පහරදීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් අද ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක්වීමට පෙර කඩවත පොලිසිය ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි පුද්ගලයෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, ජනබලය කොළඹට විරෝධතාවට එක්වීම සඳහා පිරිස් රැගෙන යාම සඳහා සූදානමින් සිටි බස් රථයකට අද අලූයම ප්‍රහාරයක් එල්ල වී තිබුණේ හාලිඇල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදීයි.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් මෙම බස් රථයෙන් කොළඹ බලා පැමිණීමට සූදානමින් සිට ඇති අතර, එහි සංවිධායකයින් පැවසුවේ අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් බස් රථයට පහරදී පලා ගිය බවයි.
එසේම, මෙම විරෝධතාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා බදුල්ල සහ හාලිඇල ප්‍රදේශවල අලවා තිබූ ප්‍රචාරක දැන්වීම් සහ පෝස්ටර් කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ කළු තෙල් ගසා විනාශ කර තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, ජන බලය කොළඹට විරෝධතාව සඳහා මධ්‍යම පළාතේ සිට පැමිණි ජනතාව අද අපහසුතාවන්ට මුහුණ දුන්නේ නිට්ටඹුව නගරාසන්නයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ විශාල වලක් කපා තිබීම හේතුවෙන්.
නිට්ටඹුව පොලිසිය සඳහන් කළේ ජල නළ අළුත්වැඩියාවක් සඳහා හදිසියේ එම පියවර ගැනීමට සිදුවූ බවයි.