Gossips

ජනපති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සාමය කඩවන සිද්ධීන්වලට එරෙහිව කටයුතු කිරීමට පොලීසියට සහ ආරක්ෂක අංශවලට අවශ්‍ය බලතල ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
හදිසි තත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුවූ කරුණු කිහිපයක් ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
1. පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී සහ සාපරාධී ක්‍රියා
2. එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත සහ දේපළ හානිවීම්
3. එම සිද්ධීන් නිසා ජාතීන් සහ ආගම් අතර ගැටලුකාරී තත්වයන් සහ අසංහතීන් ඇතිවීම
4. දේපළ පුජනීය ස්ථාන ප්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් සිදුවීම සහ එමගින් හානිවීම
5. ඉහත සඳහන් සාපරාධී ක්‍රියා තවදුරටත් සිදුවීම
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුල සිදුව ඇති අතර සංවිධානාත්මක කණ්ඩායම් මගින් ද සිදුකර ඇති බවයි.
මෙම තත්වයන් සමනය කිරීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා.
හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසිවලින් පවතින තත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලය පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවටයි පවරා ඇත්තේ.
එමෙන්ම යම් සාපරාධී කටයුත්තකට හෝ වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවයකට සම්බන්ධ හෝ ඒවා ඇති කරන යම් පුද්ගලයන් සිටී නම් ඔවුන්ගේ ආගමික, වාර්ගික අනන්‍යතාව හෝ පක්ෂ, පාට දේශපාලන සබඳතා නොසලකා අපක්ෂපාතීව සහ යුහුසුලුව ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසට ද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ දී සද්භාවයෙනුත් නීත්‍යානුකුලවත් මහජනතාවගේ සුබසිද්ධියට සහ ජන ජීවිතයට අවම බාධාවක් වන පරිදි කටයුතු කරන ලෙසටත් මානව හිමිකම් උල්ලංඝණය නොවන ආකාරයට ක්‍රියාකරන ලෙසටත් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට ජනාධිපතිවරයා විශේෂ උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.