නිදහස් සෞඛ්‍ය සේවාව කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතැබිය යුතු අතර රටේ සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවකම එය ශක්තිමත් සහ කාර්යක්ෂම කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිගයක් මතුව ඇති බවට ගෙන යන ප්‍රචාරවල සත්‍ය තත්වය පිළිබඳ සොයා බැලීම සඳහායි ජනාධිපතිවරයා මෙම නිරීක්ෂණයට එක්වී ඇත්තේ.
යම් ක්ෂේත්රයක කිසියම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉදිරි මාසවලට ප්‍රමාණවත් පරිදි ඖෂධ තොග පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තීන්දු තීරණ විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙසට ද මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
ජනතාව නොසන්සුන් කිරීම උදෙසා ඇතැම් පාර්ශවයන් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර නිවැරදි කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමේ වැදගත් කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
වකුගඩු රෝග පාලනය, නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබදව ද ජනාධිපතිවරයා කරුණු සෞඛ්‍ය බලධාරීන්ගෙන් කරුණු විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ වකුගඩු රෝගින්ගේ ප්‍රමාණයේ අඩුවීමක් සිදුව ඇති බව මෙහිදී අදාළ අංශ විසින් පෙන්වා දී තිබෙනවා.
වකුගඩු රෝගින්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් නුවර සහ අනුරාධපුර රෝහල් ආශ්‍රිතව ඉදිකෙරෙන නේවාසිකාගාරවල ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා ඇති අතර නුවරඑළිය සහ හම්බන්තොට රෝහල් ජනතා අයිතියට පවරාදීමේ ප්‍රමාදය පිළිබදව ද කරුණු විමසා තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍ය අභියෝගය මැඩපැවැත්වීම වෙනුවෙන් සෞඛ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය ද සමාලෝචනයට ලක් කෙරුනා.