Gossips

ජනපති, විපක්ෂ නායක සහ ඒකාබද්ධයේ නායකයින් අතර හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත්වුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුලූ නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් එක්ව සිටියා.
නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුද පත් කර එය පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ඩග්ලස් දේවානන්දාද මෙම කමිටුවට පත් කර ඇති බවයි වාර්තාවන්නේ.
නව දේශපාලන සන්ධානය පිළිබඳව ඉදිරි සති දෙකක කාලය තුළ එකඟතාවක් ඇති කරගැනීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තාවන්නේ.
කමිටුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන සතියේ යළි රැස්වීමට නියමිතයි.