Gossips

ජනපති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතයි

‍කලාපීය පොදු ගැටලු සඳහා විසඳුම් සෙවීමට බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
කත්මණ්ඩු නුවරදී අද ආරම්භ වූ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව අද නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වුණා.
මේ අතර, රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන්ගේ හමුවක් අද පස්වරුවේ සිදුවුණා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත් ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැපවීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඇගයිමට ලක්කළ බවයි.
මෙවර සමුළුවේදී එහි සභාපතීත්වය ශ්‍රි ලංකාවට හිමි වීමට නියමිත අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අත්දැකීම් බහුල නායකයෙක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ බිම්ස්ටෙක් සංවිධානය ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකා – මියන්මාර ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සක්‍රීය කර ගනිමින් දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින් අද එකඟ වුණා.
බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව මියන්මාර ජනාධිපති වින් මයින්ට් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මියන්මාර ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවයි.