Gossips

ජනපති පිළිගැනීමට ජපානය සුදානමින්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජපාන සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම තහවුරු කිරීමට ජපානය අපේක්ෂා කරන බව එරට පළ කෙරෙන සුප්‍රකට නිකේ් පුවත්පත සඳහන් කළා.
කලාපය තුළ චීනයේ බලපෑම ව්‍යාප්තවීම තුළ එම සබඳතා අතිශයින් වැදගත් වන බවයි පුවත්පත පෙන්වා දෙන්නේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජපන් සංචාරය මාර්තු 12 වනදා සිට 15 වැනිදා දක්වා යෙදී ඇති අතර, එහිදී ඔහු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපතිවරයා ජපානයේ අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ අධිරාජිනියද මුණගැසීමට නියමිත බව ජපාන නිකේ පුවත්පත සඳහන් කළා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ විට ශ්‍රී ලංකාව සමග ආර්ථිකය ඇතුලූ ක්‍ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාව අග්‍රාමාත්‍ය සින්සෝ අබේ විසින් සහතික කරනු ඇතැයි එහි දැක්වෙනවා.
විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක වැදගත්කමද ජපාන අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදෙනු ඇතයි අපේක්ෂිතයි.
ඉන්දු – පැසිෆික් කලාපයේ වැදගත් භූගෝල පිහිටීමක් සහිත ශ්‍රී ලංකාව, ආසියාකරය සහ යුරෝපය යා කරන පුරුකක් ලෙස ජපානය දකින බවයි එහි සඳහන් වන්නේ.
විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකා රජය චීනයට පමණක් නැඹුරු ආර්ථිකයකට වඩා ජපානය, ඉන්දියාව, යුරෝපය සහ ඇමරිකාව ඇතුළත් සමබර රාජතාන්ත්‍රික ප්‍රවේශයකට පිවිස සිටින බවද ජපාන නිකේ පුවත්පත අවධාරණය කළා.