Gossips

ජනපති පිලිපීනයට

රාජ්‍ය සංචාරයක් සඳහා පිලිපීනය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැනිලා නුවරට ළගාවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පිලිපීන වෙළෙද සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගත් බවයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනුයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිව් දින සංචාරය සඳහා පිටත්ව ගියේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කෙරුනේ පිලිපීන රජය 1961 ජනවාරි මාසයේදී කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමගයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබදතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරයේ අරමුණයි.
සංචාරය අරඹමින් ජනාධිපතිවරයා හෙට (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිතයි.
අනතුරුව පිලිපීනයේ ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පිලිපීන ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබෙනවා.
දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබද ගිවිසුම් කහිපයකට ද රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මෙම සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වනු ඇති.