Gossips

ජනපති, පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි – මීළඟ සැසිය මැයි 8

ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිවිශේෂ ගැසට් පත්‍රයකට අත්සන් කරනු ලැබුවා.
ඒ අනුව මැයි මස 8 වනදා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වීමට නියමිතයි.
8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ 2015 වසරේ සැප්තැම්බර් 2 වනදායි.
ඒ 2015 අගෝස්තු 26 වනදා නිකුත් කෙරුණු 1929 / 13 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව, පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමටත්, මාස දෙකක් නොඉක්මවන දිනයකදී යළි ඊළග සභාවාරය ආරම්භ කිරීමේ දිනය නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය පවතිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ප්‍රවීනයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සදහන් කළේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග දැනට පිහිටවා ඇති කමිටු සහ කාරක සභා සියල්ල අහෝසි වන බවයි.
ඒ අනුව, පොදු ව්‍යාපාර හෙවත් කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ ආංශික අධික්ෂණ කාරක සභා ඇතුළු පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර ඇති කමිටු සහ කාරක සභා සියල්ල අහෝසි වනු ඇති.
එහෙත් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අණ පනත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමග අහෝසි නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වූ ධුරයන් සඳහා තාවකාලිකව නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකරනු ඇති බවයි.