Gossips

ජනපති පාර්ලිමේන්තුවට සයිටීස් සමුළුවේ සූදානම ගැන ජවිපෙ ගැටළුවක්

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පසුගිය වසරේ පෙබරවාරි 23 වනදා සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන 20 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන එහි ඇතුළත් බවයි එම වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ.
එසේම පොදු නිර්නායක 21 ක් සහ නිර්දේශ 105 ක් ද එහි ඇතුළත් වනවා.
එමෙන්ම අයවැය කාරක සභා විවාදයේදී පරාජයට පත් වූ අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව හෙට විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
ඊයේ මෙම පරිපූරක ඇස්තමේන්තුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි වටිනාකම රුපියල් බිලියන 287කට අධිකයි.
මේ අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කසළ බැහැර කිරීමේ ගැටළුවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම වෙත ප්‍රශ්ණයක් යොමු කළා.
එසේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ස්ථාවර නියෝග යටතේ ආණ්ඩුවෙන් විමසා සිටියේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බව ප්‍රකාශ කළද මෙතෙක් එවන් කටයුත්තක් සිදුවී නොමැති බවයි.
මේ අතර ලබන මස අගදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වද වීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ ශාකවල අන්තර්ජාතික වෙලදාම පිළිබඳ සම්මුතිය හෙවත් සයිටීස් පරිසර සමුළුව සඳහා රජයේ සූදානම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියා.
ඒ, 2019 අයවැය කාරක සභා විවාදයේ 18 වන දින විවාදයට එක්වෙමින්.
ආරක්ෂක සහ මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ඊට විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව සිටිනවා.