Gossips

ජනපති පදවි ප්‍රාප්ති සිව් වන සැමරුම අද

ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී අදට වසර 4ක් සපිරෙනවා.
2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ඡන්ද හැට දෙලක්ෂ දහහත් දහස් එකසිය හැට දෙකක් ලබාගනිමින්.
මෙම පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීව රාජ්‍ය උත්සව කිහිපයක් සංවිධාන කර තිබෙනවා.
මේ අතර, ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී වසර 4ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයක් ද සිදුකෙරුණා.
එමෙන්ම කළු ගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද සිදුවනවා.
"මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්" ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමිනුයි මෙම උත්සවය පැවැත්වෙන්නේ.
මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය කළු ගඟ ජලාශයයි.
කළු ගඟ ව්‍යාපෘතිය ද පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වන බවටයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
කළු ගඟ ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකක් වනවා.
මෙම ජලාශයෙන් ජලය විශාල ප්‍රමාණයක් ලබාදෙනු ලබන්නේ ලග්ගල නව නගරයේ ජනතාවට වීම ද විශේෂත්වයක්.
මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළු ගඟ ජලාශයට යට වන ලග්ගල නගරය වෙනුවට ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදිකර තිබෙනවා.
අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් මෙම නගරය ඉදිකර ඇති අතර, ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්. නව නගරයෙහි රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර ඇති අතර, නව රෝහල සහ ලග්ගල ද්වියිතික පාසල සිසු අයිතියට පවරාදීම සිදුකෙරෙන්නේ ද ජනාධිපතිවරයාගේ සුරතින්.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දිනය ද අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අභියස සැමරුම් උත්සවයක් ද අද උදෑසන සංවිධානය කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.