Gossips

ජනපති නේපාලයට

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියා.
හෙට සහ අනිද්දා යන දෙදින තුළ කත්මන්ඩු නුවර පැවැත්වෙන මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රික සහ තිරසර කලාපයක් බවට පත් කිරීම යන්නයි.
1997 වසරේ ආරම්භ වූ බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලක් වනවා.
ජනාධිපතිවරයා සමඟ 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටින අතර, සමුළුවට සමගාමීව ජනාධිපතිවයා නේපාල ජනාධිපති බිද්‍යා දේවි භණ්ඩාරි, අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි ඇතුළු සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් කිිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
නේපාල ජනාධිපතිවරාය සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු දෙරට අතර, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබෙනු ඇති.
මේ අතර, ජනාධිපතිවරයා, බුදුන් වහන්සේ උපත ලද ලුම්බිණි නුවර සංචාරයකට ද එක්වීමට නියමිතයි.