එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ 27 වන මහලේ පිහිටි මහලේකම්වරයාගේ කාර්යාලයේදී ඊයේ (28) මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජගත් මහලේකම්වරයා හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්රජාතන්ත්රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසර 3 හමාර තුළ දී විශාල කාර්ය භාරයක් ඉටු කළ බවයි.
එම අත්දැකීම් උපයෝගී කර ගනිමින් තවදුරටත් ඉදිරියට වේගවත්ව ගමන් කරන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාව උදාකරගෙන තිබෙන මෙම සුවිශේෂී ජයග්‍රහණ අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාව දෙස නව දෘෂ්ටිකෝණයකින් බලන්නැයි තමා ජාත්‍යන්තරයේ සියළු දෙනාට ආරාධනා කරන බවත්, ජනාධිපතිවරයා සඳහන් කළා.
අසීරුතා රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අද ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පැසසුමට ලක්වූ අතර, මෙරටට අඛණ්ඩව සහය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ යැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු වලදී ශ්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය මෙහිදී මහලේකම්වරයාගේ ඇගයීමට ලක්වී තිබෙනවා.
කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබදව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළ අතර එම අභියෝග ජය ගැනීමට ජගත් සංවිධානයෙන් වැඩි සහයක් අපේක්ෂා කරන බව ද පවසා තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එහි ප්රඥප්තීන් සහ සම්මුතීන්ට අනුගතව ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කටයුතු කරන අතර, පැරිස් සම්මුතියට අත්සන් තැබූ ප්‍රථම දකුණු ආසියාතික රට, ශ්‍රී ලංකාව බව ද සිහිපත් කළා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන තිලක් මාරපන, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා ද එක්වී තිබෙනවා.