අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ මස 9 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54 ක් ඉල්ලා, එය කෝටි 10කට අඩු කර ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදීයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ කියා සිටියේ ඔවුන් දෙදෙනා අදාළ හෝටලයේ රථගාල තුලදී රුපියල් කෝටි දෙකක මුදලක් ගණන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම මීට පෙර ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, එම අමාත්‍යාංශය යටතේ තිබූ කන්තලේ සීනි සමාගමේ කොටස් විකිණීමේ ගණුදෙනුව සිදුවු මුල් අවස්ථාවේදී ඔහු අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවද අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ නිලධාරින්ගේ සේවය වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති බවයි.
ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සියලූ බලධාරින්ට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද එහි සඳහන්.
අල්ලස හෝ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.