Gossips

ජනපති අද ලන්ඩනයට

එක්සත් රාජධානියේදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
හෙට සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට එහි සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගිවනු ඇති.
ඊට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ද එක්වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පොදුවේ මුහුණපා සිටින අභියෝග පිළිබදව සහ තරුණ කොටස් ඇතුලූව සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම යන කරුණු පිළිබදව සලකා බැලෙන අවස්ථාවක් ලෙස මෙම රාජ්‍ය නායක රැස්වීම් හදුන්වාදිය හැකියි.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම ලන්ඩන් නුවරදී පැවැත්වෙන්නේ පොදු අනාගතයක් උදෙසා යන තේමාව යටතේයි. මෙහිදී අනෙක් ස්වාධීන සාමාජික රාජ්‍ය සමග පවතින සහයෝගිතාව පුුළුල් කිරීමට ද කටයුතු කෙරෙනු ඇති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන 19 වනදා රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට සහභාගි වන අතර 18 වනදා පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස එක්වීමට නියමිතයි.