Gossips

ජනපති අද ජගත් මහා මණ්ඩල 73 වන සැසි වාරය අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසි වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඇමතීමට නියමිතයි.
නිව්යෝක් වේලාවෙන් අද පස්වරුවේ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මහා මණ්ඩල සැසි වාරය ඇරඹෙන්නේ ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙවර සමුළුවට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රණවිරුවන්ගේ සුරක්ෂිතභාවය සහ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර සමුළුවට විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාර සැපයීමට එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බර්මන් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.