Gossips

ජනපති අගමැති හදිසියේ හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මිට සුළු වෙලාවකට හමුවී තිබෙනවා.
ජනපති නිල නිවසේදී මේ හමුව සිදු වූ බවයි වාර්තාවන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් අද දිනයේදීත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූයේ විශ්වාසභංගය පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.
කෙසේ නමුත්, ඊට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සහ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගි වී සිටියේ නැහැ.
ඒ සඳහා ඔවුන් නියෝජනය කරමින් වෙනත් නියෝජිතයින් පැමිණ සිටි බවටයි වාර්තා වන්නේ.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවක් ආරම්භ කලා.
ඒ, කොළඹ – මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි.
එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එම හමුවෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.
එහිදී විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණාත්මක සාධකයක් වී ඇති දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තම ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට රැස්වීමට නියමිතයි.
ඊට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධාන නායකයින්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට සහය ලබා දිය යුත්තේ කොන්දේසි සහිත බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය 21 වන දා කථානායක කරු ජයසූරියට භාර දුන් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතයි.