Gossips

ජනපති, අගමැති අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදුවුණා.
ජනාධිපති නිල නිවසේදී මෙ හමුව සිදුවූයේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපතිවරයා අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සිදුවූ හමුවෙන් පසුවයි.
මෙහිදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු සහ පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අදහස් හුවමාරු වී ඇති බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, අද පස්වරු 1 යි 30 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.
එහිදී සභා වාරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිලිබඳ තීන්දු කිරීම සඳහා පක්ෂ නායක හමුවක් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එහිදී ස්ථාවර නියෝගයන්ට අනුකූලව සභාව පවත්වාගෙන යන්නේ ද නැතහොත් සභාවේ අභිමතය පරිදි කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව පක්ෂ නායකයන් අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් ද අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
එහිදී අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර, පක්ෂ නායක රැස්වීමේ තීන්දුව ලැබීමෙන් පසු තවත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද අද දහවල් 12 ට පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූවා.
මෙම හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්වූ බවටයි වාර්තා වන්නේ.
පක්ෂ නායක රැස්වීමේදී පැමිණෙන එකඟතාවන්ට අනුව ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල සඳහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එම පක්ෂවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වනවා.
එහිදී ද ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි එම පක්ෂවල ආරංචි මාර්ග සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්.